Saturday 6 March 2010

රතු ඉර-------------------------------------


ඔරලෝසුව
මොරදෙන කොට
මම හිටියේ
තද නින්දක
සුව සිහිනෙක,
නුඹ අත ගෙන
තරු විසිරුණ
මල් ලැහැබක.

ඇස් අරින්නේ කොහොමද?
හීනයේ ඉතිරි භාගය
නොදැක මම...

ආදරයේ
පරක් තෙරක් දන්නේ නැති
අංශබාර
ආලවකය!
රතු ඉර ගැහුවේ
ඇයි මට
පැය බාගෙට?

තුසිත් රවීන්ද්‍ර අබේනායක
190110

Wednesday 6 January 2010

සයිබර් අහස


අම්මපා මේකටත්
ඇබ්බැහි වෙච්ච ඉක්මන...
මාස ගණනාවකට
කවියක් රහ නොබැලු හදවත
දෙතුන් සැරයක් දවසට
අලුත් කවි තලුමරන ලස්සන.

BLOCK කරන් නොඉඳින
BLOG වල අකුරු අමුනන
කලු සුදු පිටු නොසෑහෙන
INTERNET පින්තූර අමුනන
අලුත් කවි ලෝකයට
අපිත් යාවෙන ඉක්මන

පාලු අහසය ජීවිතය
කවි තරු ලකුණු බෝමය
උල්කාපාත වීගෙන
හැපී ගිනි ලයි හදවත

ඉතින් ඒ උණුසුම
අලුත් කවියක උපතය

2009-11-24

Wednesday 23 December 2009

මවකගේ විලාපය



ලෙයින් තෙත බරියම් වී
දූවිලි ගොඩේ පාරේ
නුඹ බිම වැටී සිටියි
මා නැමී මුව මඬලට
ඒ නුඹමදැයි බැලුවා
පුතේ ඒ නුඹ බවම දැනගෙන
මං හැපී ඇඬුවා
ගිනි අවිය මානාන
මූ උඹේ කවුරුදැයි ඇසූ විට
මගේ කුළුඳුල් පුතේ
නුඹ නාඳුනන බව කිවුවා

පුතු මළකුණට වත්
මගේ ‍යැයි කියන්නට වෙර නැති
අම්මා කෙනෙක් මම අද

හිතට වෙර වීරිය ගෙන
ඔබේ මළකුණ ඔසවාගෙන
චෙම්මනිය සොහොන් පලට
මං ගියා නම් පුතේ
දෙදොහකට ඉහතින්
බත් කවපු මේ දෑතින්
පුතේ වල කණිනවා සත්තයි
මං එහෙම කළා නම්

උං ඇවිත්
මල්ලිලා මරාදාලා
පැල්කොටෙත් ගිනිලාලා
කිරි එළදෙනත් පටවා
පලාලියට යාවි
කවුරු අවනඩු ගන්නද
මං අන්ත අසරණ ගෑණි

තල් ගසක් වී දවසක
පවුලකට ම හෙවණ දෙන්නයි
ලොකු මං උඹව වැඩුවේ
හෙණ වැදී මගේ ඒ හීනෙට
නුඹ වැටී මහ පාරට අයිනක
කවුරුදෝ මේ විනේ කෙටුවේ

හිතේ ගිනි හිත යටම සඟවාගෙන
උඹෙන් සමුගෙන යමි මම්
ඒත් මතුඑළිවන දවසක
මේ ගිනි එක ගොඩකට එකතු කොට
නුඹට ගිනි බිඳින්නට උන්ටයි
බිම බෙදන්නයි ඉල්ලා
උඹව බිලිදුන් උන්ටයි
සාපයක් වී ඇවිලෙමි

සන්මාර්ගා


පරිවර්තනය: තුසිත

Friday 27 November 2009

වේසාකමක මහත.......!



(හමුදා ජෙනරල් ට සහාය දීමට JVP එකඟ වෙයි - පුවතක්)


අප්‍රේල් විරුවනි නැගිටිනු

ඉල්මහේ විරුවනි නැගිටිනු

හිස්වලට ගසා ලූ

පරාල ඇණත් ගලවනු

ටයර් සෑයේ අඟුරු ඇටකටු

පෝස්ටර් ලියන්නට අරගනු


පා ඇඟිලි වලින් එල්ලා

එස්ලොන් බටයෙන් ගැසූ සලකුණු

ආදරෙන් අමතක කරලමු

ගුද මාර්ගේ කම්බි කටු

දෑතින්ම සීරුවෙන් ගලවමු


පක්ෂයේ වැටුනු රතු ධජය

ජෙනරාල් ඔසවනු ඇති

සැමදෙන එකම තැන රැඳෙන

සමබිම

නුඹ දිවි පුදා ලූ සිහිනය

ජෙනරාල් අපට දෙනු ඇති


හෙට අරුණෝදයේ

ජෙනරාල් වෙනුවෙන්

කඩේ යන්නට

පක්ෂයට

සහෝදරවරුන්ගේ ශක්තිය

කවදාටත් වැඩිය අද

උවමනා කර තිබෙන මොහොතේ

අතීතය අමතක කර

දැන් ඉතින්….

මරණයෙන් නැගිටිනු


(ඉමහත් ශෝකයෙනි )

2009 ඉල්.


Tuesday 10 November 2009

අඥාතව සිටිමි..



හුදෙකලාවේ ඇවිදගෙන ඇවිදගෙන යන

අතරමග දෙපස පිරික්සා බැලීමි.

මැයි මාර ගස යට

මේ තරම් කඳුළු ඇයි දැයි අසමි.

තණ පත් පා මුල ට

රතු ලේ බින්දු

කෙළෙස ලැබුණාදැයි බලමි.


වෑකන්ද මුදුනේ සන්සලව විසිරෙන සුළඟේ

දහඩියක ලුණු රසක් දැනෙන්නට

කාරණා සොයන්නෙමි.


සංසාරයේ මට නොපායන

සඳවතේ විලාපය ලියන්නට

රැගෙන ආ පැන්සල් තුඩ කඩමි.

මේ පත් ඉරැව මත

මේ මුතු අකුරුවල

වටකුරු ලේ බින්දු ඇති

නැවතීම් තිත් අසල

අන්තිම සුසුම් කැටි ඇති.

පෙළ ගැසෙන පද අතර

මිනිසුන් හෙළූ කඳුළු ඇති.

දැවුණු ඇට සැකිල්ලක අඟුරකින්

ඉබේ ලියවෙන මේ පැදිය යට

මගේ නම පමණක් ඇති.


තුසිත් රවින්ද්‍ර අබේනායක

-1989-

Saturday 7 November 2009

වැස්ස..!

ඉස්සර නුඹේ ලිවුමක් ලැබුණාම

වැස්සක් වගේමයි

වේලුණු මගේ දිවියට

ඇට මිදුළු වල හිර වුණ

පුංචි පොඩි පොඩි කවි පැල

මුල් අදිනවා හෙමිහිට

ලිවුමේ අකුරු සුවඳට...

ඉතින්

මම ඉන්නවා බලාගෙන

දිග ලියුම් කවරෙක

සුදෝ සුදු කඩදාසි කොළයක

වැහි පොදක්වත්

නෑ නෑ

මහ වැස්සක්

එන තුරුම...

Monday 2 November 2009

'පැරණි' මිතුරන්ට


මහත්වරුනේ,... එන්න
බඩ මහත.
කෙස් හිඳෙන තට්ට ගෙඩි පිරිමදින.
පුරාගෙන මදුවිත
තෙල් පිරුණු
ඌරුමස් තසිමට ඔරවන
නහර තුල කැටි ගැහෙන
මේදමය තට්ටුවට බය වෙන
ඇවිල්ලා ඉඳ ගන්න
මේසයේ හිස් පුටු බොහෝමය


එකල අප මිතුරන් ය.
එක බත් පතට වට වෙන,
බිත්තර කහ මදය
හරි අටට බෙදාගෙන කන
මතක ද
බිම වැටෙන අවි ගන්නට,
රණබිම දිවි පුදන්නට
නිර්ධන බලය රජයන
ධජ නඟන්නට දිවුරන
.........

බෑ කියපු කෙල්ලගේ මතකය
ඇස් අග කඳුලු පුරවන
පදම වැඩි වී ගිය කල
ගුණදාස කපුගේත් පරදන

මහත්වරුනී කියන්
පන්තියේ එකට හිටි
ත්‍රී වීල් එක දුවන නිමලෙයා
නොදැක්කා වාගේ හැමදාම
පහු කරන් යන්නෙ කොහොමද..?