
හුදෙකලාවේ ඇවිදගෙන ඇවිදගෙන යන
අතරමග දෙපස පිරික්සා බැලීමි.
මැයි මාර ගස යට
මේ තරම් කඳුළු ඇයි දැයි අසමි.
තණ පත් පා මුල ට
රතු ලේ බින්දු
කෙළෙස ලැබුණාදැයි බලමි.
වෑකන්ද මුදුනේ සන්සලව විසිරෙන සුළඟේ
දහඩියක ලුණු රසක් දැනෙන්නට
කාරණා සොයන්නෙමි.
සංසාරයේ මට නොපායන
සඳවතේ විලාපය ලියන්නට
රැගෙන ආ පැන්සල් තුඩ කඩමි.
මේ පත් ඉරැව මත
මේ මුතු අකුරුවල
වටකුරු ලේ බින්දු ඇති
නැවතීම් තිත් අසල
අන්තිම සුසුම් කැටි ඇති.
පෙළ ගැසෙන පද අතර
මිනිසුන් හෙළූ කඳුළු ඇති.
දැවුණු ඇට සැකිල්ලක අඟුරකින්
ඉබේ ලියවෙන මේ පැදිය යට
මගේ නම පමණක් ඇති.
තුසිත් රවින්ද්‍ර අබේනායක
-1989-
No comments:
Post a Comment