Wednesday 23 December 2009

මවකගේ විලාපය



ලෙයින් තෙත බරියම් වී
දූවිලි ගොඩේ පාරේ
නුඹ බිම වැටී සිටියි
මා නැමී මුව මඬලට
ඒ නුඹමදැයි බැලුවා
පුතේ ඒ නුඹ බවම දැනගෙන
මං හැපී ඇඬුවා
ගිනි අවිය මානාන
මූ උඹේ කවුරුදැයි ඇසූ විට
මගේ කුළුඳුල් පුතේ
නුඹ නාඳුනන බව කිවුවා

පුතු මළකුණට වත්
මගේ ‍යැයි කියන්නට වෙර නැති
අම්මා කෙනෙක් මම අද

හිතට වෙර වීරිය ගෙන
ඔබේ මළකුණ ඔසවාගෙන
චෙම්මනිය සොහොන් පලට
මං ගියා නම් පුතේ
දෙදොහකට ඉහතින්
බත් කවපු මේ දෑතින්
පුතේ වල කණිනවා සත්තයි
මං එහෙම කළා නම්

උං ඇවිත්
මල්ලිලා මරාදාලා
පැල්කොටෙත් ගිනිලාලා
කිරි එළදෙනත් පටවා
පලාලියට යාවි
කවුරු අවනඩු ගන්නද
මං අන්ත අසරණ ගෑණි

තල් ගසක් වී දවසක
පවුලකට ම හෙවණ දෙන්නයි
ලොකු මං උඹව වැඩුවේ
හෙණ වැදී මගේ ඒ හීනෙට
නුඹ වැටී මහ පාරට අයිනක
කවුරුදෝ මේ විනේ කෙටුවේ

හිතේ ගිනි හිත යටම සඟවාගෙන
උඹෙන් සමුගෙන යමි මම්
ඒත් මතුඑළිවන දවසක
මේ ගිනි එක ගොඩකට එකතු කොට
නුඹට ගිනි බිඳින්නට උන්ටයි
බිම බෙදන්නයි ඉල්ලා
උඹව බිලිදුන් උන්ටයි
සාපයක් වී ඇවිලෙමි

සන්මාර්ගා


පරිවර්තනය: තුසිත

2 comments:

  1. woooow . . .. . no words to express my emotions . . .!!!

    ReplyDelete
  2. හරිම අගෙයි තුසිත් අයියේ...!

    ReplyDelete